Search This Blog

Tuesday, February 11, 2014

අසිරිමත් ඌවේ සැඟවුණු ඉතිහාසය

සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප ගැනෙද්දී හූයන හඬ ජනිතවීම නිසා හූවනොහොත් ඌවයන නම මෙම ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්‌වේ. එය කවදා කෙලෙස භාවිතයට ගැනුනක්‌ ද යන්න සඳහනක්‌ නොමැත.
දැනට දශක පහමාරකට පෙර එනම් වසර 55 කටත් පෙර ඌව පළාත (i) උඩුකිඳ (ii) යටිකිඳ (iii) බුත්තල (iv) වැල්ලවාය (v) වෙල්ලස්‌ස (vi) වියළුව (vii) බිංතැන්න වශයෙන් ප්‍රාදේශීය ආදායම් පාලක කොට්‌ඨාස හතකට බෙදා තිබිණි.
කිඳයනුවෙන් හැඳින්වෙන්නේ බිම් කොටසකටය. වඩාත්ම උස්‌ ස්‌ථානයක පිහිටි කොටස උඩුකිඳලෙසින් ද පහත් ස්‌ථානයක පිහිටි කොටස යටිකිඳලෙසින් ද අදටත් ව්‍යවහාර කැරේ.
පට්‌ටිපොල, ඔහිය, හපුතලේ, වැලිමඩ, ගුරුතලාව, අඹේවෙල, ඇටැම්පිටිය වැනි කඳුකරව පිහිටි නගර උඩුකිඳකොට්‌ඨාසයටත්, බදුල්ල, පස්‌සර, ලුනුගල, දෙමෝදර, ඇල්ල, හාලිඇල, නාරංගල, ස්‌ප්‍රිංවැලි වැනි ප්‍රදේශයේ පහත් භූමි භාගයන්හි පිහිටි නගර යටිකිඳකොටසත් අයත් වේ.
ලෝකාන්තය(- ඔහියනගරය අසල පිහිටි ලෝකාන්තය නමැති ස්‌ථානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්‌වූ ස්‌ථානයකි. ක්‍රිස්‌තු භක්‌තිකයන් සෑම වසරක්‌ පාසාම ආගමික භක්‌තියෙන් සන්තානම් මෑණියන්ගේ දේව මෙහෙය හා පෙරහැර පවත්වනු ලබන වැලිමඩ නගරයත්, ටෙනිස්‌ ක්‍රීඩකයන්ට පාරාදීසයක්‌ බඳු වූ බණ්‌ඩාරවෙල නගරයත් සතුරු උපක්‍රම වලින් මේ රට ආරක්‍ෂා කිරීම සඳහා අභ්‍යාස යුද කඳවුරු සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාලතම අභ්‍යාස ආයතනයත්, පිහිටි දියතලාවනගරයත්, පහතරට (හම්බන්තොට) දිස්‌ත්‍රික්‌කය දැකගත හැකි හපුතලේ නගරයත්, ඓතිහාසික රාම සීතා කතා පුවතේ සීතා කුමරිය දිවුරුම්ගත් තැන දිව්රුම්වෙලවිහාරස්‌ථානය පිහිටි දිව්රුම්වෙල ගමත් උඩුකිඳ කොටසට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ සදා මතකයේ ලැඟුම්ගෙන ඇති නගර, ගම්, හැටියට හැඳින්විය හැකිය. මෙම ප්‍රදේශවල ඇති වගාවන් අතර තේ සහ උඩරට එළවළුවලට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වේ.
අඩි 310 ක පමණ උසකින් යුත් මනස්‌කාන්ත දුන්හිඳදිය ඇල්ලත් මුතියංගන චෛත්‍ය රාජයාත් බදුල්ලේ පිහිටි අතර කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ස්‌ථානයක්‌ යටින් සකස්‌ වූ දුම්රිය මාර්ගයක්‌ පිහිටි දෙමෝදර නගරයත් සුප්‍රසිද්ධ දෝවේරජමහා විහාරස්‌ථානයත්, යතුරුපැදි ධාවන තරග පිටියත්, “සෙන්ට්‌ ඡේමිස්‌ නැග්මත්පිහිටි හාලිඇලනගරයත්, නමුණුකුල පිහිටි ස්‌ප්‍රිංවැලි නගරයත්, යටිකිඳ කොටසට අයත් වැදගත් ස්‌ථාන හැටියට හැඳින්විය හැකිය. බදුල්ල, පළාතේ ප්‍රධාන අගනගරය හැටියට හැඳින්වේ.
බුත්තල( දකුණු පළාතත්, උතුරු මැද පළාතත් සම්බන්ධ කෙරෙමින් දුටුගැමුණු යුගයේ දකුණේ සිට උතුරු මැද පළාතට වැටී තිබූ මහා මාර්ගයේ ගමන්ගත් මගීන්ට දාන ශාලාවක්‌ (බත් ශාලාවක්‌), බත් හලක්‌ ඉදිකර තිබූ ස්‌ථානය, බත්හල පසුකාලිනව බුත්තල වී ඇතැයි ජනවහරේ පවතී.
බිබිල බුත්තල, මොනරාගල යන නගර ආශ්‍රිත ප්‍රදේශ දෙහි, දොඩම් වගාවට අතීතයේ සිටම ප්‍රසිද්ධියක්‌ ගනු ලබයි. එමෙන්ම මොනරාගල දිස්‌ත්‍රික්‌කය පුරාවටම බුරුත, තේක්‌ක, කළුවර, සුදු හඳුන් වැනි ඉතා වටිනා දැවවලට ප්‍රසිද්ධියක්‌ උසුලනු ලබන්නේ ද එම ප්‍රදේශයට ආවේණික භූ විෂමතාවන්ට අනුකූලවමය. ඔක්‌කම්පිටිය ගොවිජනපදය, යුදගනාව වැව, කතරගම පුදබිම, ප්‍රෙෘඪ ඓතිහාසික උරුමයක්‌ වන මාළිගාවිල, බුදුරුවගල වැනි බෞද්ධ සිද්ධස්‌ථානයන්ගෙන් ද මොනරාගල දිස්‌ත්‍රික්‌කයට දීප්තියක්‌ වැටී ඇත.
ඌව පළාත මුලදී බෙදා වෙන්කර තිබූ කොට්‌ඨාස හතෙන්ම සමුද්‍රයට ආසන්නව පිහිටි හෙයිනුත් මෙම කොටසේ කඳුහෙල් දුලබ හෙයිනුත් මුහුදු සුළං (වැල්ලේවායුව) නියමලෙස ස්‌පර්ශ කරන විශාල ග්‍රාමයක්‌ කාලයක්‌ ගතවත්ම වැල්ලවාය යනුවෙන් භාවිතයට පත්වී ඇතැයි ජනවහරේ පවතී. පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු පිළිබඳ හසල දැනුම් සම්භාරයක්‌ ඇති බළන්ගොඩ කූරගල ශ්‍රී පාද දිවාගුහා රාජමහා විහාරාධිපති ප්‍රවීණ ලේඛක රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති වටද්දර ඥානිස්‌සර නාහිමිපාණන් වහන්සේගේ මතයට අනුව වැල්ලවායනගරය රාවණා යුගය දක්‌වා දුරාතීතයකට සබඳකම් පවත්වනු ලබන නගරයකි.
පෙර රජදවස රහතන් වහන්සේ දහස්‌ ගණනින් වැඩවිසූ ඓතිහාසික කූරගල ශ්‍රීපාද දිවාගුහා විහාරස්‌ථානය දක්‌වා වසර දස දහසකට එපිට කාල පරාසයකදී මුහුද තිබූ බවට වටද්දර ඥානිස්‌සර නාහිමියෝ පෙන්වා දෙන්නේ කූරගල අවට වැලිපතයායප්‍රදේශයේ අදටත් මුහුදු බෙල්ලන්, මුහුදු වෙරළාසන්න වැවෙන පන් වර්ග, මූදුවැලි පවතින බවට නිදසුන් ගෙනහැර පාමිනි. එකල විශාල වැලි වරායක්‌ව තිබූ පෙදෙස වැලි+වරාය වැල්ලවාය වී පසුකලෙක භාවිතයට යෙදී ඇති බව ද වටද්දර ඥානිස්‌සර නාහිමියෝ පෙන්වා දෙති.
අතීතයේදී ගොවියන්ට තම මඩ ඉඩම් වලින් සරුසාර අස්‌වැන්නක්‌ ලබාගැනීමට හැකිවූත්, දැනට මුව, ගෝන, අලි ඇතුන්ටත්, සේරුන් නමැති පක්‍ෂීන්ටත්, ජලය සපයනු ලබන තණමල්විල වැව ගැන ද සඳහන් කළ යුතුව ඇත. බළන්ගොඩ මැතිවරණ කොට්‌ඨාසයේ වේලිඔයහරස්‌කර මහනෙටුල, කුඩානෙටුල, කංඩියපිට, බෝගස්‌වැව, අළුත්වැව, අරඹේකෙම, රතඹලාගම, කහකුරුල්ලන්පැලැස්‌ස, හම්බේගමුව වැව දක්‌වා කිලෝ මීටර් 25 ක ඇළක්‌ මගින් ජලය සැපයෙමින් කුඩාවැව් 20 කට වැඩි ප්‍රමාණයකින් ගොඩ, මඩ අක්‌කර 5000 කට අධික ප්‍රමාණයකට ජලය සැපයෙන වාරි කර්මාන්තයක්‌ද පසුගිය වර්ෂයේදී ජනතා අයිතියට පැවරිණි.
කොස්‌ලන්ද සානුවේ පිහිටි දියළුම දිය ඇල්ල ද ඌව පළාතටම ආවේණික වූ තවත් සොබා සිරියෙන් ඔපවත්වූ දිය ඇල්ලකි. ඇල්ල වැල්ලවාය මාර්ගයේ පිහිටි බඹරකන්ද දිය ඇල්ල ද සුවිශේෂී දියඇල්ලක්‌ වනුයේ එය ශ්‍රී ලංකාවේ දිය ඇළි අතර වැඩිම උසකින් හෙබි දිය ඇල්ලක්‌ නිසාය. සාරවත් කුඹුරු නොහොත් වෙල් කැබලි ලක්‍ෂයකින් පමණ සැදුම්ලත් වෙල්යායක්‌ නිසා වෙල්ලස්‌ස යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය ද ඌව පළාතටම අයත් ප්‍රදේශයකි.
බිංතැන්න බිංතැන්න අනිකුත් ප්‍රදේශවලට වඩා විශාලත්වයෙන් කුඩා වූ පෙදෙසකි. යක්‍ෂයන් පලවා හැරීම සඳහා හා ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්‌දිවට ප්‍රථම වරට වැඩියා වූ අවස්‌ථාවේ බිංතැන්නේ සිටි යක්‍ෂයන් පලවාහැරිය බවට බෞද්ධ සාහිත්‍යයෙහි (ලක්‌දිව) දැක්‌වේ. සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ කේෂධාතු මිටක්‌ පිරිනමා ඇති බවත් එම කේෂධාතු නිධන් කැර මහියංගන චෛත්‍යය ගොඩනඟා ඇති බවත් සඳහන් වේ. ඌව පළාතේ පිහිටි මහියංගන චෛත්‍යයෙහි වැඩ නිම කරගැනීමට විය පැහැදම් නොලැබී අතරමඟ එහි වැඩ නතර වී තිබූ අවස්‌ථාවක මහවැලි නදියට ගලා බසිනා ඇළක රිදී කොටයක්‌ පාවී ඇවිත් එම රිදී කොටය විකුණා ලත් මුදලින් මහියංගණ චෛත්‍යයේ වැඩ නිමවා ඇති අතර අදටත් රිදීකොටලියනම් ඇළක්‌ තිබෙන බව කියෑවේ. සියඹලාවින්න, දඹාන, බෙලිගල්ල, බුළුගහදෙන, කුකුළාපොල, පදුකුඹුර, මේවත්ත, වේරපොකුණ නමැති කුඩා ගම්වල වැදි පවුල් ගණනාවක්‌ම අදටත් දැකගත හැකිය. පාරම්පරිකව එදා ඔවුන් දඩයමින් (මරාගන්නා) ලද මුව, ගෝන, වල් ඌරන්ගේ මස්‌ වේලා නගරයට ගෙනැවිත් ලබාගන්නා මුදල ඔවුන්ගේ ජීවනෝපායේ ආර්ථිකය සැකසෙන සංධිස්‌ථානය වුවත්, අද වන විට එම වැදි පවුල්වල ජනතාව ගොවිතැන සිය ජීවනෝපාය සඳහා යොදාගෙන තිබීම සතුටට කරුණකි. වඩු වැඩ, මේසන් වැඩ, වෙළෙ¹ම වැනි ස්‌වයං රැකියා සඳහා ද වැදි ජනතාවගේ නැඹුරුවක්‌ ඇති වී තිබේ.
වියලුව වියලුව යන නම ද ඌව පළාතේ ප්‍රසිද්ධියක්‌ ගනු ලබන තවත් ප්‍රදේශයකි. වේලුයනු උණගස්‌වලට ව්‍යවහාර කරන නමකි. වේලුනොහොත් වියලු නොහොත් උණ ගස්‌ රාශියකින් සමන්විත ප්‍රදේශය වන අර්ථය ඇති සැටියෙන් දනවනු සඳහා වියලුව යෑයි එම පෙදෙසට ව්‍යවහාර වී තිබේ.
දුටුගැමුණු මහරජතුමා අමුණක්‌ බඳවද්දී ඔහුගේ පුත් සාලිය කුමරා රොඩී කෙල්ලක්‌ සමග ප්‍රේමයෙන් වෙලී සිටිනා බව සැලවීමත් සමගම සාලිය කුමරා සමග සිටි සේනාව සාලිය කුමරාට ඔටුන්න අහිමි වීමේ කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා එම සේනාව සතු දිවා ආහාරය (පිසින ලද බත් මුල්) මැඩිල්ලකට විසිකරනු ලැබූහ. එදා සිට එම ප්‍රදේශයට බත්මැඩිල්ල යන නාමය ව්‍යවහාර වී තිබේ.
ඌව පළාතේ විස්‌තරත් එහි පැරැණි කොට්‌ඨාස ක්‍රමයත් මෙසේ සනිටුහන් වෙද්දී පුරාණ කාලයේ දකුණේ මාගම් පත්තුවේ කතරගම සිට අනුරාධපුරයට පැමිණෙන ගම් පියසි දිගේ පැමිණිය හැකි ඉසුරුමත් මහා මාර්ගයේදී හමුවෙන සමහර නගරයන්ට සහ ග්‍රාමයන්ට අදටත් ව්‍යවහාර කරනු ලබන නාමයන් සෑදී ඇත්තේ මෙසේය.
කදිරදේවගම, කදිර+ගම, කදිරාගම යනුවෙන් ද ඉන්පසු කාලීන කන්ද+ස්‌වාමි+ග්‍රාමම් කදි+දේව+ගම, ශුෂ්ක දේශ ගුණයකින් හෙබි ගම කතරේ+ ගම = කතරගම යනුවෙන් මුඛ පරම්පරාගතව ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද සඳහන් වේ. කන්ද ස්‌වාමි පැමිණ නැවතුම්ගත් ශුෂ්ක වූ ගම යනුවෙන් පවතින මතයක්‌ද වේ.
දිගාමඩුල්ල දුටුගැමුණු+ එළාර යුද්ධයේදී ස්‌වකීය හමුදාවට ආහාර සැපයීම පිණිස එතුමන්ගේ සොයුරු (සද්ධාතිස්‌ස කුමරා) ගොවිතැන් කටයුතු කිරීම සඳහා (කුඹුරු අස්‌වැද්දවීමට) යවන ලදී. එහිදී කුඹුරු අස්‌වැද්දවීමට තිබූ දිගාමඩුල්ලසීමාව වූ පෙදෙස මඩොල්ලේ සීමාව නොහොත් මඩොල්සිම විය.
ඌවේ කැරැල්ල කාලයේදී දෙහිවින්න, පරණවෙල නම් දෙකින් යුත් ග්‍රාම දුරස්‌ථව පිහිටියත් බලකොටු දෙකක්‌ පිහිටි බව කියෑවේ. එහි පළමුවැන්නේ එනම් දෙහිවින්නේබලකොටුවේ පදනිතියයෑවූ වේරගම නමැත්තෙකුගේ ඥතියෙක්‌ වන වේරගම බණ්‌ඩාර පුදුමාකාර දිවිපෙවෙතක්‌ ගත කළ අයෙකි. සතුරන් විසින් මරා දමනු ලබතැයි යන බිය නිසා කොරෙකුගේ වෙස්‌ ගෙන සිටි මොහු යමෙකු හමු වූ විට කතානොකර අතින්, පයින් ගොලුවකු පරිද්දෙන් කතා කිරීමට සමතකු වුවද ඔහු ගැන දන්නා අයට මෙය විහිලුවක්‌ ලෙස පෙනී තිබේ.
පර දේශික හමුදාවන්ගේ සෙබළු විනෝදයට පත්කෙරෙමින්ද, සෙබළුන්ගෙන් ලැබෙන ආහාර වේලකින් යෑපෙමින්ද, වේරගම බණ්‌ඩාර දිවිගෙවද්දී මොහු ගැන තොරතුරු සෙබළ ප්‍රධානියාට සැලවිය. වේරගම බණ්‌ඩාරගේ හැසිරීම් රටාව අධ්‍යයනය කළ සෙබළ ප්‍රධානියා ඔහුට කඩු හරඹය පුහුණු කරවන ලෙස අණ කළේය. වේරගම බණ්‌ඩාරට සටන් පුහුණුව ලබාදීමට පැමිණෙන සෙබළු දිනෙන් දින එකි නෙකා මරු තුරුලට යන්නේ තම සටනේදී ඔහු විදේශීය (පරසතුරු) හමුදා සෙබළු මරණයට පත් කරමින් පරාජය කරමිනි. මෙම බලකොටුවේ සිටි සෙබළු සියලු දෙනාම (ප්‍රධානියා හැර) වේරගම බණ්‌ඩාර අතින් මරණයට පත්වීම නිසා සෙබළුන් මරා දැමූ බිමට සටන් පිටිය යන නම ව්‍යවහාර වී කාලයත් සමග හටන්+පිටිය වීමෙන් පසුව අද වන විට එම ප්‍රදේශය අටම්පිටිය යන නාමයෙන් හඳුන්වනු ලැබේ.
මෙසේ මරණයට පත් කරනු ලැබූ විදේශීය හමුදා සෙබළු සියලු දෙනාම පල්ලමකට (ඇළකට) දමන ලදී. එම ඇල්ල පරංගි ඇල්ල යනුවෙන් හඳුන්වනු ලැබේ. පරංගි ඇල්ල නමින් ව්‍යවහාර වන ග්‍රාමයක්‌ අදටත් මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ.
හපුතලේ හපුගස්‌වලින් ගහණ වූ ප්‍රදේශය සහ කඳුකර ප්‍රදේශය යන්න එක්‌වීමෙන් හපු+තලය පසුකාලීනව හපුතලේ බවට පත්වී ඇති බවත්, බණ්‌ඩාර නම් ග්‍රාම පාලකයකුට අයත් වෙල්යායක්‌ තිබූ ප්‍රදේශය බණ්‌ඩාරගේ කුඹුර බණ්‌ඩාරවෙල නමින් ව්‍යවහාර වී ඇති බවත් මුඛ පරම්පරාගත කතාවල දැක්‌වේ. බණ්‌ඩාර නමැති දෙවි කෙනකුගේ ප්‍රතිමාවක්‌ වෙලක්‌ (කුඹුරක්‌) සීසාද්දී මතුවීම නිසා (බණ්‌ඩා+ දෙවි+රු+කුඹුර) දෙවිරුවයන වචන බිඳී ගොස්‌ කුඹුර යන්නට වෙල එක්‌වී බණ්‌ඩාරවෙල යන්න ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද තවත් මතයක්‌ පවතී.
වැලිමඩ පත්තිනි දේවිගේ නොහොත් වල්ලි අම්මාගේ කෝවිල පිහිටි පෙදෙස වල්ලි+මඩම් නමින් පැවත වැලිමඩ නමින් ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද කියති. මීට අමතරව වැලි මිශ්‍රිත මඩ සහිත පසක්‌ පිහිටීම නිසා වැලිමඩ යන නම භාවිතයට එක්‌වී ඇතැයි ද තවත් මතයකි.



No comments:

Post a Comment