
2013.11.03 වැනි දින "දිවයින ඉරිදා සංග්‍රහයේ" පළ වූ "පාර දිගේ නඩ2q ඉල්ලා හිඟා කන රථවාහන පොලිසිය" යනුවෙන් පළ වු ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳව නිවැරැදි තත්ත්වය ජනතාවගේ දැන ගැනීම පිණිස පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
පදික මාරුවේ නොනවත්වා ධාවනය කිරීම ස්‌ථානීය දඩපත් නිකුත් කළ හැකි වරදක් නොවන්නේය. රථ වාහන හැසිරවීම සඳහා විශාල මුදලක් වැය කර විශේෂ පුහුණුවක් ලබා දුන් පොලිස් නිලධාරීන් යොමු කර ඇත. ඔවුන් දිවා රාත්‍රියේ අව් වැසි නොතකා දුම, දූවිලි මධ්‍යයේ රථ වාහන පාලනය කරමින් නීතිය ක්‍රියාත්මක කරනුයේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසාමය. මාර්ගය භාවිත කරන සියලුදෙනාගේ ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීම ඔවුන් වෙත පැවරී ඇති වගකීමය.
රථ වාහන වරදක් සිදු කරන රියෑදුරෙකු හෝ පැදිකරුවෙකු අනිවාර්යයෙන්ම ස්‌ථානීය දඩ පතක් ලබා ගත යුතුම නැත. තමන් රථ වාහන නීති උල්ලංඝනයක් සිදු නොකළ බව ස්‌ථිරවම දන්නා රියෑදුරන්ට හා පැදිකරුවන්ට වෙනත් පියවරක් කරා යොමු වීමට හැකියාව ඇත.
රථ වාහන නීතියක් උල්ලංඝනය නොකරන රියෑදුරන් හා පැදිකරුවන්ට දඩපත් නිකුත් කිරීමට හෝ නඩු පැවරීමට කිසිදු පොලිස් නිලධාරියෙකුට බලය පවරා නොමැත. නමුත් තමන් ඉදිරියේ රථ වාහන වරදක් සිදු කරන රියෑදුරෙකුට හෝ පැදිකරුවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අලස වන පොලිස් නිලධාරීන් සිදු කරනුයේ රාජකාරිය පැහැර හැරීමක් මෙන්ම එම රියෑදුරන්ට නරක ආදර්ශයක් සැපයීමකි.
දිනපතා ඉහළ යන රිය අනතුරු දෙස අවධානය යොමු කිරීමේ දී දිනකට රිය අනතුරු 115 ක් පමණ සිදුවන බව ලැබෙන වාර්තා අනුව පෙනී යයි. එයින් මාරක රිය අනතුරු මගින් 07 දෙනකු පමණ මිය යති. 60 දෙනකු පමණ තුවාල ලබන අතර දේපළ හානි 50 ක් පමණ වාර්තා වේ.
මෙසේ පදිකයන් මිය යන්නේ විනයගරුක හා නීතිගරුක නොවන රියෑදුරන්ගේ රිය ධාවනය නිසාමය. පදිකයන්ගේ ද යම් වගකීමක් ඇති බව සත්‍යකි. එසේ උවද රියෑදුරන් හා පැදිකරුවන් පුහුණුව ලත් පිරිසක් බැවින් නෛතික වගකීම ඔවුන් වෙත පැවරී ඇත.
රිය අනතුරු අවම කර වාහන ගමනාගමනය පහසු කරවීම රථවාහන පොලිස් නිලධාරීන් වෙත පැවරී ඇති රාජකාරියකි. එම රාජකාරිය නිසි පරිදි අධීක්‍ෂණය කර නිලධාරීන් දිරිමත් කිරීම උසස් පොලිස් නිලධාරීන්ගේ වගකීම වන්නේය, එසේ නොවුනහොත් එම නිලධාරීන් අලසකමින් යුතුව රාජකාරිය නිසි පරිදි ඉටු නොකරනු ඇත. එවිට අනතුරට පත් වනුයේ මේ රටේ ජනතාවය. එහිදී පවුල් සංස්‌ථාවත් ශ්‍රම බළකායත් සමස්‌ත සමාජයත් ව්‍යාකූල වනු ඇත.
රථවාහන නඩු මගින් හෝ ස්‌ථානීය දඩ පත් නිකුත් කිරීමෙන් ලැබෙන ආදායම කිසිසේත් පොලිස් දෙපාර්තමේන්තුවට බැර වන්නේ නැත. එම මුදල් පළාත් පාලන ආයතනයට හෝ මධ්‍යම රජයට බැර වේ. එම නිසාවෙන් "දිවයින" ලියුම්කරු සඳහන් කරන පරිදි රථ වාහන පොලිස් නිලධාරීන්ට පාර දිගේ නඩු ඉල්ලා හිඟා කෑමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවේ.
රටේ පවතින නීතියට අනුව දඩ ගැසීමෙන් හෝ දඬුවම් නියම කිරීමෙන් අපේක්‍ෂා කරන ප්‍රතිඵල දෙකකි.
01. වරද සිදු කළ අයට නැවත එවැනි වැරැදි නොකිරීමට මග පෙන්වීම.
02. සමාජයට ආදර්ශයක් ලබා දීමටය.
රථවාහන හසුරුවන පොලිස් නිලධාරින් දුටු විට හෝ සිටින බව දැනගත් විට පමණක් නීතිගරුක වන රියදුරන් හා පැදිකරුවන් සෙසු ස්‌ථානවලදී නීතිය නොසලකාහැරීම නිසාවෙන් වසරකට අහිමිවන ජීවිත ගණන යුද සමයේ අහිමි වූ ජීවිත සංඛ්‍යාවටද වඩා ඉහළ අගයක් ගෙන ඇත.
එසේ අහිමිවන ජීවිත කේන්ද්‍රකර ගනිමින් තවත් විශාල ජීවිත සංඛ්‍යාවක් අසරණ වනු ඇත. එසේම තුවාල වන පුද්ගලයන් ආබාධිත තත්ත්වයට පත් වන්නේ රටේ ශ්‍රම බළකායටත්, පවුල් සංස්‌ථාවේ පැවැත්මටත්, රටටත් බරපතළ අගතියක් අනර්ථයක් සමඟිනි. ජීවිතවල වටිනාකම අවබෝධ කර නොගනිමින් කටයුතු කරන රියෑදුරන්ට හා පැදිකරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම මගින් හෝ මෙම තත්ත්වය පාලනය කළ යුතුමය.
රථ වාහන නීතිය උල්ලංඝනය කරන රියෑදුරන්ට හා පැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය අපකීර්තියට පත්වන කරුණක් බව සඳහන් කරන්නේ නම් හෝ මහජන මිත්‍රශීලි පොලිසියක් ගොඩනැගීමට බාධාවක් බව පවසන්නේ නම් එය අර්ථ රහිත ප්‍රකාශයකි.
මාර්ගය පරිහරණය කරන රියෑදුරන් හා පැදිකරුවන් රථ වාහන පොලිස් නිලධාරියෙකුගේ සංඥ කිරීමකට අවනතව රථය නවතා තමා කිසිදු රථ වාහන නීතියක් උල්ලංඝනය නොකළේ යෑයි හෝ නීතියේ සඳහන් නොකර හැරීමක් සිදු කර නැතැයි ප්‍රකාශ කිරීමට මත්තෙන් තම හෘද සාක්‍ෂියට ආමන්ත්‍රණය කිරීමට හැකි වන්නේ නම් ඔහුට හෝ ඇයට තම හෘද සාක්‍ෂිය විසින් නිවැරැදි පිළිතුර ලබා දෙනු ඇත.
රථවාහන රාජකාරි කරන ඉතාම අතලොස්‌සක් වූ පොලිස් නිලධාරීන් දූෂිත විය හැක. එනමුදු දිනකට පැය 18 කට වඩා වැඩි කාලයක් තම ජීවිත පරදුවට තබා බහුතරයක් වූ පොලිස් නිලධාරීන් රථ වාහන නඩු ලබා ගැනීම සිඟාකෑමක් නොව මාර්ගයේ යන සැමගේ ජීවිත ආරක්‍ෂා කර මාර්ග ආරක්‍ෂාව තහවුරු කිරීමයි.
අජිත් රෝහණ,
අධ්‍යක්‍ෂ/ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි,
පොලිස් මහජන සම්බන්ධතා කොට්‌ඨාසය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක.
No comments:
Post a Comment